සනත් නන්දසිරි සොඳුරු ගාන්ධර්වයා නික්ම ගොස් තෙමසක් ගෙවී ගිහින්
ආදරය යනු ආදරය මිස අන් කවරක්ද? ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක්ද? දෙවියන් වහන්සේ වදාළේද, වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ප්‍රේමය බවයි. එහෙයින් සංසාරණ්‍ය පුරා සරන දිගු චාරිකාවේ වන්දනීයම නවාතැන්පොළ ප්‍රේමයම හැර, ආදරයම හැර අන් කිසිවක් නොවන බව මම විශ්වාස කරමි.
එක් ප්‍රශ්නයක් අසන්නට මට අවසරය. ගැහැනියකට එතරම්ම එපමණක්ම පිරිමියකුට පෙම් කළ හැකිද? ගන්න හුස්මක් හුස්මක් ගාණේ ආත්මීය ආලයකින් පිරිමියකුට බැඳෙන ගැහැනියකගේ සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද ළය ලෙය බදාගන්නා ප්‍රේමය තරම් බලවත් හැඟීමක් ලොව තවත් වෙත්දැයි මම නොදනිමි.
ඇය ද එපමණකටම ඔහුට පෙම් කළ ගැහැනියයි. ඇය අභිමුව හිඳ මා නැවත සිහි ගන්වන්නේ ඒ යටගියාවේ මතක සමුදායයි. ඇගේ ප්‍රථම ප්‍රේමයත්, අවසන් ප්‍රේමයත් ඔහු වූ සඳ ඒ ප්‍රේමය අනන්තයක්ම මිස අන් කවරක්දැයි කියන්නට මම නොදන්නෙමි. මා ඇය අස හිඳ කතා කරන්නට සැරසුණු මොහොතේ ඈ නෙතඟ ඉපදුණු කඳුළැල් නිහඬවම කී කතාවේ පතුල විනිවිද මා හඳුනා ගත්තේද, නැවත නැවතත් හඳුනා ගන්නේද ප්‍රේමයම මිස කිසිවක්ම නොවේ.
ඔහු නික්ම ගොස් ජූනි මස 28 වැනිදාට තෙමසක් සපිරේ. ආ දුර කොතෙක්දැයි කියන්න නොදන්න අත අතනෑර සපැමිණි සංසාර ගමන් මඟ ඒ ප්‍රේමයේ වත්කම් කොතෙක්දැයි කියන්නද මම නොදන්නෙමි. සංගීත් නිපුන් සනත් නන්දසිරි, අද හුස්මක් වැටෙන මානයක නැතත් ඔහුට පෙම් කරන ඇගේ ලෝකයේ එකම අයිතිකාරයාය. ඒ සා ප්‍රේමයකින් ඔහුට පෙම් බැඳි ඇය මල්කාන්ති නන්දසිරිය.
හුඟක් දවස්වල අපි ආව ගිය ගෙදරකට පළවෙනි වතාවට අපි ගොඩවැදුණේ සනත් නන්දසිරි කියන ඒ ආදරණීය සංගීතවේදියා, ඔබේ සැමියා නැති පසුබිමක. අපි එන හුඟක් දවස්වල ගෙදර ගේට්ටුව පේන තැන තියෙන පුටුවෙ උඩු කය නිරුවත්ව සරමක් හැඳගෙන බලා හිඳින ඒ රුව මොහොතකටවත් අපිට අමතක වෙන්නෙ නෑ. අපිටත් එහෙම දැනෙනවා නම් ඔබට කොච්චර ඒ අඩුව දැනෙනවද කියලා අහන්න හිතෙන්නෙත් නෑ. ඒත් අහන්නෙ නැතුව ඉන්නත් බෑ?
මගේ ලෝකෙ රජ්ජුරුවෝ, මගේ දෙයියො වුණේ එයා. එයා නැතිවෙනකම්ම විතරක් නෙවෙයි, එයා නැතිවුණාට පස්සෙ අදටත් ඒ ආදරය නම් බින්ඳුවක්වත් හිතින් අඩුවෙලා ගිහිල්ලත් නෑ. අඩුවෙන්නෙත් නෑ. එයා මට පොඩ්ඩක් හරි සැර වුණානම් සැරවෙලා තියෙන්නෙ මම ගමනක් යන්න ගියත් ප්‍රමාද වෙන එකට තමා. ඇයි ඉතින් එයාගෙ හැම වැඩක්ම හුඟාක් වෙලාවට කළේ මමත් දුවත්. මගේ මැණික අනුරාධා දූ කියන්නෙ අම්මටයි තාත්තටයි පුදුම විදිහට ආදරේ කරන දුවක්. දූට කවදාවත් නොබැන්නත් ගමනක් යන්න ගිහින් මම වෙලා යද්දි නම් එයා ඉතින් පොඩ්ඩක් සැරට කෑගහනවා. ඒ ඇරෙන්න කවදාවත් මගෙ හිත රිද්දලා නෑ.
එයා තමන්ගෙ බිරිඳ ලස්සනට අඳිනවට හුඟක් ආසා වෙච්ච සැමියෙක් කියලා මම අහලා තියෙනවා. ලෝභ නැතුව තමන්ගෙ බිරිඳ වෙනුවෙන් වියදම් කරපු සැමියෙක් කියලත් මම අහලා තියෙනවා. ඇත්තද?
අනේ ඔව්. එයා හරි ආසයි මම ලස්සනට අඳිනවට. කවුරු වුණත් ලස්සනට ඇඳලා ඉන්නවට තමයි එයා ආසා. රත්තරන් පාටට එයා ගොඩක් ආසා නෑ. ඒත් දිලිසෙන ලස්සන ආභරණවලට, වර්ණවත් ඇඳුම් පැළඳුම්වලට එයා හරි ආසයි. දූ එංගලන්තෙ ඉන්න කාලෙ එයා මට උපන් දින තෑග්ගට දුන්නෙ මගේ නියපොතු ලස්සනට පාට කරන්න සැලොන් එකට එක්කන් යන තෑග්ගක්. උයලා පිහලා, ගෙදර වැඩ කරලා, මගෙ නියපොතු ඒ වෙද්දි ගෙවිලා කැතවෙලා තිබුණෙ. මම හරි බයෙන් ගියේ. මොකද මම කවදාවත් එහෙම නියපොතු දාලා, පාට කරලා, මෝස්තර දාන්න සැලොන් එකකට ගිහින් නෑ. මම ඉතින් ගිහිල්ලා අලුතෙන් ලස්සන නියපොතු දිගට දාලා හැඩ වුණා. සනත් අයියා වෙනදා වගේම ගේට්ටුව පේන තැන පුටුවෙ ඉඳගෙන ඉන්නවා. එයා කවදාවත් ගෙදරට සරමක් මිසක් උඩට කමිසයක්වත් බැනියමක්වත් අඳින්නෙ නෑ. මම එයාගෙ බඩ උඩ අත දිගඇරලා තියලා මගෙ නියපොතු ලස්සනද කියලා ඇහැව්වා. ෂා හරිම ලස්සනයි, ඒක නියමයි කියලා කෝ බලන්න, අනිත් අතත් තියන්න කියලා කිව්වා. මම අත් දෙකම එයාගෙ බඩ උඩ තියලා පෙන්නද්දි එයා ඒක හරි ලස්සනට අගය කළා. එයා පිටරට ප්‍රසංගවලට යද්දිත් කවදාවත් ඒ ප්‍රසංගයකට එයාට කීයක් දෙනවද කියලා ඇහුවෙ නෑ. එයා ඉල්ලපු එකම දේ මම යනවා නම් මල්කාන්තිවත් එක්කන් යන්න ඕනෙ කියන එක විතරයි. ඇත්තටම අපි දෙන්නා නොගිය රටක් නෑ. එයා එහෙම පිටරටවල්වල ගියාම ෂොපින් කරන්න ඇවිදින්න කැමති නෑ. හැබැයි මට කවදාවත් මම කැමති දෙයක් අරන් නොදී ඉඳලා නම් නෑ. මම ආසා මාලයක් එහෙම දැකලා ගන්න අහද්දි හුඟක් මිල දෙයක් නම් එයා කියන එකම දේ අපිට තව ගෙදර ගිහින් බිල් එහෙම ගොඩක් ගෙවන්න ඉතුරුවෙලා තියෙනවද? ඒවා එහෙම බලලා ඔයාට ඕන දෙයක් ගන්න. අපි ඒවත් මොනවා හරි කරගමු. ඔයාට ආසා දේවල් නොගෙන ඉන්න එපා කියලා. එයා තරුණ කාලෙ හිටියෙ ඉන්දියාවෙනෙ. ඉන්දියාවෙදි එයා දකින්නම ඇත්තෙ ලස්සනට අඳින පළඳින තරුණියො නිසා වෙන්න ඇති, එයා කැමතිම හරිම ලස්සනට ඇඳලා, ආභරණ පැළඳලා ඉන්නවා දකින්නයි.
ඇයි එයා හැමදාම ඉදිරිපස ගේට්ටුව පේන පුටුවෙම වාඩිවෙලා හිටියෙ. එයා කවදාවත් වෙන පුටුවක වාඩිවෙලා ඉන්නවා මම දැකලා නෑ?
ඔව්. එයා කවදාවත් වෙන පුටුවක වාඩිවුණේ නෑ ගෙදරදි. කවුරු හරි ගෙදරට එනවනම් එයාට ඉස්සෙල්ලම මට කියන්න ඕනකම තියෙනවා, මල්කාන්ති ඒ අයට කන්න මොනවා හරි, එක්ක තේ ටිකක් දෙන්න කියලා. එයා ඒ නිසාම තමා ඔතන පුටුවෙ වාඩිවෙලා හිටියෙ. කවදාවත් මේ ගෙදරට එන කෙනෙක් අඩුම තරමෙ කේක් කෑල්ලක්, බිස්කට් එකක්, තේ ටිකක් නොබී ගිහින් නෑ. අනිත් අයට කන්න බොන්න දෙන්න හුඟක් ආසා කරපු කෙනෙක් එයා.
සනත් නන්දසිරි මහත්තයා කියන්නෙ කිසිම ලෝභකමක් නැතුව ඕන දෙයක් ඕන කෙනෙක්ට දුන්න කෙනෙක් කියලා කියන කතාව ඇත්තක් නේද එහෙනම්?
ඔව්. එයා ලෝභකම කියන වචනෙ තේරුමවත් දන්නෙ නැති කෙනෙක්. එක දවසක් කීයක් හරි ඉල්ලගෙන මනුස්සයෙක් ආවා. අපි ගෙදර කෑම මේසෙ පොඩි කෝප්පයක් තියෙනවා. ඒකෙ දහයෙ විස්සෙ කොළ කාසි තිබුණා එහෙම එන මිනිස්සුන්ට දෙන්න. දවසක් මනුස්සයෙක් ආවාම මම රුපියල් පනහක් අරගෙන ඒ මනුස්සයට දෙන්න ගියෙ ඇත්තටම පොඩ්ඩක් බැණ බැණ. ඒකට හේතුව තමයි ඒ වෙලාවෙ තාත්තියි මායි ලොකු කතාවක හිටියෙ. එයා මගෙන් ඇහුවා, ඔය කීයක්ද ඔයා දෙන්න යන්නෙ කියලා. මම කිව්වා රුපියල් පනහක් කියලා. එයා මොකද දන්නවද එක පාරට කිව්වෙ. මේ ඕයි ඒ මනුස්සයා කසාද බැඳලා ළමයිනුත් ඉන්න මිනිහෙක් වෙන්න ඇති. රුපියල් පනහකින් මොනවද කරන්න පුළුවන්. ගේනවා මගෙ පර්ස් එක කිව්වා. මම පර්ස් එක ගෙනත් දෙද්දි පර්ස් එකේ තිබුණෙම සීයෙ කොළ දෙකක් විතරයි. එයා ඒ සීයෙ කොළ දෙක අරගෙන අර රුපියල් පනහත් දාලා ආ මේක ඒ මනුස්සයට ගිහින් දෙනවා කියලා කිව්වා. මම ඇහුවා දෙසිය පනහක් වැඩි නැද්ද කියලා. එයා එකපාරට කිව්වා වැඩි නෙවෙයි ඕයි මදි. මගෙ පර්ස් එකේ මේ වෙලාවෙ තියෙන්නෙම සීයෙ කොළ දෙකක් විතරමයි. නැත්නම් මම දෙසිය පනහක් දෙන්නෙත් නෑ. ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපායැ කියලා ආ මේක ගිහින් දෙනවා කියලා කිව්වා. ඒ මනුස්සයා දෙසිය පනහ අතට අරගෙන ගේට්ටුවෙන් එයාට ගිහින් අහල පහළ ඔක්කොටම ඇහෙන්න මල්කාන්ති නෝනා දෙසිය පනහක් දුන්නා, නිවන් දකින්නම ඕනෙ බුදු සරණයි කියලා කෑගගහා යනවා. ඒක අහගෙන ඉඳලා මෙයාට හිනා. මෙයා කියනවා මගේ හම යනවා. මෙයාගෙ නම යනවා කියලා.
තරුණ කාලෙ ඉඳන්ම සනත් නන්දසිරි කියන්නෙ හරි ලස්සනට ඇන්ඳ කෙනෙක් නේද?
අනේ ඔව්. එයා හරිම උස මහත ලස්සන කෙනෙක්. හරි ලස්සනට එයාට අඳින්න ඕනෙ. කලිසම් කමිස විතරක් නෙමෙයි. මේස් දෙකත් ඒකට ගැලපෙන පාටින් තියෙන්න ඕනෙ. ඒ ගැන හරිම සැලකිලිමත්.
එයා වැඩියෙන්ම ආසා කළ දේවල් මොනවද?
වැඩිපුරම ආසා කළේ ඔරලෝසුවලටයි බෙල්ට්වලටයි සපත්තුවලටයි. ඒවා ලොකු එකතුවක් තිබුණා එයා ගාව. ආයෙ පුදුම ආසාවක් තිබුණේ කාර්වලට. එයා අපි බැන්ඳ ගමන්ම කළේ කාර් එකක් ගත්ත එක. කාලෙන් කාලෙට කාර් මාරු කළා. එයාගේ පින්තූර වලින් එයා ආසම කළේ නිකකට ඇඟිල්ල තියාගෙන ඉන්න පින්තූරවලට. කවදාවත් ෆොටෝ එකක් ගද්දී හිනාවෙන්න කැමති නෑ. එයාව හිනස්සවලා ෆොටෝ ගන්න පුළුවන් වුණේ දයාන් විතාරණට විතරයි.
ඇයි හැන්දෙන්ම කෑම කන්න සනත් නන්දසිරි මහත්තයා පුරුදුවෙලා හිටියෙ?
එයා හරි ලස්සනට ගෑරුප්පුවෙන් කන කෙනෙක්. එයාට කොහොමත් හරි රසට කෑම බීම ටික උයලා තියෙන්න ඕනෙ. හැබැයි කන්නෙ හරි පොඩ්ඩයි. මස්, මාළු, එළවළු, පළතුරු වගේ දේවල් කන්න හරි ආසයි. මස් එහෙම කද්දි සාමාන්‍යයෙන් පොඩි කෑලි දෙකක් වගේ තමයි කෑවෙ. ඒක හරි ලස්සනට ගෑරුප්පුවෙන් කඩාගෙන කනවා. එයාගෙ වැඩ කොහොමත් හරිම පිළිවෙළයි. ගෙදර වුණත් හරි ලස්සනට පිළිවෙළට තියෙන්න ඕනෙ. දූවිලි පොදක්වත් තියෙනවට කැමති නෑ.
දුව අනුරාධා ඔය දෙන්නා අතරට එන්න ඉස්සර ඔය දෙන්නා අතරට ආව පුතා ඔය දෙන්නට අහිමි වුණා. කොහොමද ඒ වෙන්වීම දරාගත්තෙ. මොහොතක් සිහිපත් කරමුද ඒ මතකය?
අපි දෙන්නා කසාද බැඳලා හනිමුන් ගිහින් ඒ පළවෙනි රාත්‍රිය පුදුම ආදරයකින් සතුටකින් හිටියෙ. ඇත්තටම එයා හරිම ආදරණීයයි. බැඳලා ටික කාලෙකින්ම මට දරුවෙක් ලැබෙන්න ආවා. අම්මෝ එයා පුදුම විදිහට මාව පරිස්සම් කළා. මට කන්න බොන්න ආසා හැමදේම ගෙනත් දුන්නා. බබා ලැබෙන්න මාව ඇතුළත් කළේ පෞද්ගලික නර්සින් හෝම් එකකට. පුතෙක් හම්බවුණා. එයා වගේමයි. හරි ලොකුයි, දිගයි ඒ බබා. එයාගෙ විදිහමයි. ඔළුව මැද හරියෙ කොණ්ඩෙත් නෑ. ඒත් බාබා අමාරුවෙන් වගේ හුස්ම ගන්න බව මට දැනුණා. මම ඇයි කියලා ඇහුවා. වෛද්‍යවරු කිව්වා ආ ඒක සාමාන්‍ය දෙයක් ඉක්මනින් හරි යයි කියලා. ඒත් අනේ අපේ පුතා ජීවත් වුණේ නෑ. ඉපදිලා ටික වෙලාවකින්ම එයා මේ ලෝකෙන් ගියා. සනත් අයියට ඒක දරාගන්නම බැරි වුණා. එයා කෑගහලා වෛද්‍යවරයගෙ බෙල්ලට අත් දෙක තිබ්බා. ඒ වෛද්‍යවරයා අපේ නෑදෑ වෙන කෙනෙක්. ඒ තරම් සනත් අයියා දුකෙන් වේදනාවෙන් කේන්තියෙන් ඉන්න දවසක් මම කවදාවත් දැක්කෙ නෑ ඊටපස්සෙ. ඒ පුතා නැතිවෙලා මාස තුනක් යන්නත් ඉස්සර ආයෙත් මම අම්මා කෙනෙක් වෙන්න ආවා. ඒ පාර අපිට හම්බවුණු මැණික තමා දුව අනුරාධා. අපේ මැණිකට නිශාමනී අනුරාධා කියලා නම තිබ්බෙ කරුණාරත්න අබේසේකර මහත්තයා. සනත් අයියා කොහොමත් හුඟක් ආසාවෙන් හිටියෙ දුවකටම තමා. පුංචි කාලෙ දුවව වඩාගෙන හරියට හුරතල් කළා.
එදා තාත්තගෙ ඔඩොක්කු ඕවිල්ලේ නැලවුණු ඒ පුංචි දූ කුමරිය අද ජීවිතය වඩාත් සත්‍යවාදීව දකින පරිණත සුන්දර ගැහැනියකි.
ඉතින් අනුරාධා තාත්තට දුවක් වගේම තාත්තට මවක් වුණු දුවක් මම ඔබගෙන් දකිනවා කිව්වොත් නිවැරදියි. ඇත්තටම ඒක එහෙමයි නේද?
මම මගේ දරුවෙක් මගේ කුසින් බිහි නොකළ ගැහැනියක්. එහෙත් මට දරුවෙක් හිටියා නම් දරුවෙක් වෙනුවෙන් කරන සියලු දේ මම මගේ තාත්තා වෙනුවෙන් කළා. තාත්තා අසනීප වෙලා මේ ලෝකෙන් යන අන්තිම දවස වෙනකම් අවුරුද්දකට කිට්ටු කාලයක් මම තාත්තාව බලාගත්තෙ අම්මා කෙනෙක් දරුවෙක් බලාගන්න හැඟීමකින්. තාත්තගෙ පැම්පස් එක අයින් කරන තැන දක්වා හැමදේම කළේ මගේ අත් දෙකෙන්. ඒක පුදුම අත්දැකීමක්. තාත්තට කැව්වෙ පෙව්වෙ, තාත්තව නෑව්වෙ, හැමදේම කළේ මම.
තාත්තා ඇඳටම වෙලා ඉන්න කාලෙ සින්දු අහන්න ආසා කළාද?
ඔව්. එයා හුඟක් කැමති ඉන්දියානු ශාස්ත්‍රීය වාදන එහෙම තිබුණනෙ. මම ඒවා දාලා තියෙනවා. එයා ආසාවෙන් ඒවා අහගෙන හිටියා කියලා මට හිතුණා. තාත්තා අසනීප වුණාට පස්සෙ ඒ සංගීත පන්ති දිගටම කරගෙන ගියෙත් මම. මම උගන්වන හැටි, ළමයි ගායනා කරන ඒවා, ඔක්කොම තාත්තා හොඳට අහගෙන හිටියා. පොඩි හරි වැරුද්දක් තිබුණොත් මට කතා කරලා ඒක එහෙම නෙමෙයි, මෙහෙම වෙන්න ඕනෙ නේද? ඇයි ඒක නිවැරදි කළේ නැත්තෙ කියලා කෑගහනවා. හැබැයි එයා දැනගෙන හිටියා එයා නවත්වපු තැන ඉඳන් සියල්ල ඉදිරියට කරගෙන යන්න මට හයිය තියෙනවා කියලා. ඒකයි එයා හැමදේම මට බාරදුන්නෙ.
අද ඔබත් ඔබේ මවත් අතර ඔබ දෙදෙනාගේ ජීවිතය වූ ඔහු නෑ. අඩුවක් හිස්තැනක් දැනෙනවද කියන එක අහන්න තරම් ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් කොහොමද ඒක දැනෙන්නෙ කියන එක අහන්න නැතුව ඉන්න හිතෙන්නෙත් නෑ?
තාත්තා එයා ඉන්න කාලෙම එයා නැතුව ජීවත් වෙන්න අම්මයි මායි පුරුදු කළා කියලා මට හිතෙනවා. එයා අසනීප වෙලා හිටපු කාලෙ එයා අපි දෙන්නව හැම තැනකම යැව්වා. තාත්තා නැතත් තාත්තා වෙනුවෙන් එයාගෙ දුව ශක්තියක් වෙලා ඉන්න ඕනෙ කියන එක තමා එයා මට නොකියා කිව්වෙ. ඇත්තටම තාත්තා නැතිවුණාට පස්සෙ මට මහ අමුතු දෙයක් දැනෙනවා. සින්දුවක් එහෙම කියන්න ගත්තම ඉස්සර වගේ නෙමෙයි, පුදුම හයියක් දැනෙනවා ඒක මට කරන්න පුළුවන් දෙයක් කියලා. තාත්තා ඉන්න කාලෙ ඇත්තටම මම ගායනා කළාට වඩා කිහිප ගුණයකින් ගීත ගයන්න මට මොකක්දෝ හැකියාවක් ලැබිලා තියෙනවා කියලා මට දැනෙනවා.
සනත් නන්දසිරි මහත්තයා ගයපු ගීවලින් එයාගෙ අන්තිම කාලෙ එයා විශේෂයෙන් අහන්න කැමතියි කියලා කියපු සින්දුවක් තියෙනවද?
ඔව්. තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා මා බැලුවේ කම්පා වී කුමක් කරම්ද කියා උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා කියන සින්දුවට තාත්තා හරියට ආසා වුණා. එයා අන්තිම කාලෙ මට කිව්වා මට ඒ සින්දුව අහන්න ඕනෙ කියලා. එයා ඒ සින්දුව ඇහුවා නිතරම.
ගෙදර ඉන්න සුරතල් සතුන්ට එයා දක්වපු ආදරය කොයි වගේද?
මමයි අම්මයි වගේ වඩාගෙන හුරතල් කරන පුරුද්දක් නම් එයාට තිබුණෙ නෑ. හැබැයි එයා සතුන්ට හරි ආදරෙයි. මම දවසක් අනාථ වෙලා හිටිය බල්ලෙක් ගෙදර ගෙනාවා. එයාව මම ඇවිදින්න එක්කන් ගියෙ දම්වැලක් දාලා. තාත්තා කීවා ඔය දම්වැල දාලා ඔය බල්ලට රිදෙනවා ඇති නේද කියලා. එයා අනික් දවසෙ බල්ලගෙ කරට දාන්න හොඳ පටියක් ගෙනාවා. ගෙනල්ලා කීවා ආ මේක දානවා බල්ලගෙ කරට. මෙයාලගෙ මහ ලොකු ආදරය නම් තියෙනවා, බල්ලට රිදෙනවා නේද කියන එක හිතන්නෙ නෑ. අනේ අම්මගෙයි දුවගෙයි බොරු ආදරය කියලා අපිට බැන්නා. සතා සිවුපාවට පවා එහෙම පුදුම කරුණාවක් ආදරයක් තිබුණු කෙනෙක් තාත්තා. වතාවක් විප්ලවකාරී දේශපාලනයක් කරපු විශ්වවිද්‍යාල ළමයෙක් පොලිසියෙන් අල්ලගෙන යන්න හදද්දි ඒ ළමයගෙ පොතක් බිම වැටිලා තියෙනවා. ඒ පොතේ පිටුවක තාත්තගෙ පින්තූරයක් අලවාගෙන තියෙනවා දැකලා ඒ ළමයා අරන් යන්න ආපු පොලිසියෙ මහත්තයා අහලා තියෙනවා ඇයි ඒ පින්තූරෙ අලවගෙන ඉන්නෙ කියලා. ඒ ළමයා කියලා මේ මම සංගීතය ඉගෙන ගන්න සර් කියලා. පොලිසියෙ මහත්තයා කියලා මේ වගේ උතුම් මනුස්සයෙක්ගෙන් ඉගෙන ගනිද්දිද ඕයි තමුසෙලා මේ වගේ වැඩ කරන්නෙ කියලා ඒ ළමයව බේරලා යවලා තිබුණා. පස්සෙ කාලෙක ඒ ළමයා ඇවිල්ලා තාත්තාට වැන්දා සර්, සර් නිසා තමයි එදා මම ගැලවුණේ කියලා. තාත්තව හරියට තේරුම් ගත්ත කිසිම කෙනෙක් තාත්තට ආදරය නොකර හිටියෙ නෑ. උස, මහත, ලස්සන සිරුරක් ඇතුළෙ තිබුණෙ ඒ වගේම ලස්සන හදවතක්. අම්මටයි මටයි දෙන්නටම නැති ලස්සන කහ පාට සමක් එයාට තිබුණෙ. මැරෙන තුරුම ඒ ලස්සන වර්ණය එයාගෙ සිරුරෙ තිබුණා. තාත්තා කවදාවත් වයසත් එක්ක වයසට නොගිය කෙනෙක්. ඇත්තටම එයා මැරෙන මොහොතෙත් ලස්සන තරුණයෙක්.
ඒ මොහොත, ඒ අන්තිම මොහොත ඔබ තාත්තා ළඟ හිටියා. කොහොමද දැනුණෙ ඒ අවසන් තත්ත්පර කිහිපය?
තාත්තට එකපාරටම සෙම හිරවීමක් වගේ ඇවිත් වමනෙ යන්න වගේ ඇවිල්ලා තියෙනවා. මම හිටියෙ නාන කාමරේ. අම්මා එකපාරටම කෑගැහුවා මට එන්න කියලා. මම ආවා. ඇවිල්ලා වමනෙ කරවලා සෙම ටිකක් අයින් කළාට පස්සෙ තාත්තා හරි සැනසිල්ලෙන් වගේ හිටියා. ටික වෙලාවකින් තාත්තගෙ නාඩි මම නිකමට අල්ලද්දි මට දැනුණා ඒ නාඩි වැටෙන්නෙ ටිකක් අඩුවෙන් කියලා. තාත්තා අසනීප වෙච්ච දවසෙ ඉඳලා මට පුරුද්දක් තිබුණා තාත්තගෙ බඩ දිහා බලාගෙන එයා හුස්ම ගන්නවා නේද කියලා බලන්න. තාත්තා පොඩ්ඩක් විතර අසනීප ගතියක් පෙන්වද්දි ගිලන් රථ සේවයකුත් මම කැඳවලා තිබුණෙ. ඒත් ඉක්මනින්ම තාත්තා ඉතා සුවදායක විදිහට හිටියා. අම්මා පොඩ්ඩක් ඇත්නම් කලබල වෙලා කෑගහන හින්දා මම අම්මව කාමරෙන් එළියෙ තිබ්බා. මම කිව්වා අම්මෙ කෑගහන්න එපා, මට තාත්තා ගැන බලාගන්න දෙන්න කියලා. ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා තාත්තාව බලලා එකපාරටම කිව්වා අනුරාධා, තාත්තව හොස්පිට්ල් එක්ක යන්න එපා, ඩෙත් බොඩි කියලා. ඒ වෙද්දි ගිලන් රථයත් ඇවිල්ලා තිබුණෙ. මම එහෙම කියද්දි තාත්තගෙ නාඩි අල්ලලා බැලුවා නාඩි වැටෙනවද කියලා. මට යන්තම් නාඩි වැටෙනවද නැද්ද කියන එක හොයාගන්න බෑ වගේ දෙයක් ඒ වෙලාවෙ දැනුණෙ. අන්තිමට මැෂින් එකට ගහලා බලද්දි එක වතාවක් කීක් ගාලා සද්දයක් ඇවිල්ලා ඉන් පස්සෙ ඔක්කොම නිශ්ශබ්ද වුණා. මම හිතන්නෙ ඒ මොහොතෙ තමයි ඒ අන්තිම හුස්ම ටික ගියේ. එතකොටම නිරංජලා පුංචි එහෙමත් ආවා. නිරංජලා පුංචි තාත්තව බදාගෙන කෑගැහුවා සනත් අයියා කියලා. අම්මත් තාත්තව බදාගෙන කෑගහනවා. ඒ වෙලාවෙ මම ගලක් වගේ වුණා. මට පුදුම හයියක් හිතට ආවා. තාත්තව ගිලන් රථයෙන් අරගෙන යන අන්තිම මොහොතෙත් මම කිව්වා විනාඩියක් තියන්න, මට මගෙ තාත්තව අල්ලන්න දෙන්න කියලා. පුදුම හයියකින් කඳුළු ගල් කරගෙන ඉන්නම බැරි වුණාම තනියෙන් ඇඬුවා ඒ මොහොතෙ පටන් හැමදේම කළේ මම. ප්‍රණීත් මාමා ඇතුළු (මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර) තාත්තට ඇත්තටම ආදරේ කරපු හුඟක් අය අපිත් එක්ක හෙවණැල්ලක් වගේ හිටියා. තාත්තගෙ මිනී පෙට්ටිය තේරුවෙත් මම. මම ඒකෙ ගාණවත් කීයද කියන එක ඇහුවෙ නෑ. තාත්තා රත්තරන් පාටට වැඩිය කැමති නැති නිසා මම තාත්තා කැමති විදිහෙ මිනී පෙට්ටියක් තේරුවෙ. තාත්තා කවදාවත් තාත්තා ආදරය කරපු කෙනෙක් වෙනුවෙන් දෙයක් තෝරද්දි ඒකෙ ගාණ ඇහුවෙ නෑ. තාත්තා කියන්නෙ මගේ ලෝකෙ වීරයා. ඒ වීරයා අන්තිම ගමන යද්දි ඒ නිදියන පෙට්ටියෙ ගාණ කීයක් වුණත් කමක් නෑ කියලා මට හිතුණා. අද මම එදාටත් වඩා ජීවිතය තේරුම් ගන්න, ජීවිතයේ ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් පුදුමාකාර හයියක් තියෙන ශක්තිමත් ගැහැනියක්. තාත්තා ජීවත්ව හිටියදි හිටිය අනුරාධටත් වැඩිය තාත්තා නැති අද දවසේ ජීවිතයට මුහුණදෙන මේ අනුරාධා ඇත්තටම හරිම ශක්තිමත්.
I සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ